අලුත ගෘහ ජීවිතේට එළඹුණු තරුණ තරුණියන්ට වැදගත් වෙන පුංචි පුංචි ටිප්ස් 7ක්


විවාහ වුනාට පස්සෙ ජීවිතේ සෑහෙන ලොකු පෙරළියකට ලක් වෙනවා. ඉස්සර අම්මා තේ එක ළඟට ගෙනත් ඇහරවනකම් නිදියනව, වැඩට යන්න බත් එක බැඳල දෙන්නෙත් අම්මා. ඒත් විවාහයකින් පස්සෙ ගෙදරක වගකීම තනියම දරන්න වෙනවා. බැන්දට පස්සෙ වෙනම ජීවත් වෙන එක තමා සුදුසුම. ඒත් එහෙම වුනාම ඉස්සර වගේ නෙවෙයි හැමදේම තනියම කරගන්න වෙනවා. අළුත බැන්ද තරුණ තරුණියන්ට විතරක් නෙවෙයි අද කාලේ හුඟක් අය රැකියාව නිසා හෝ ඉගනීමේ කටයුතු නිසා ගෙදරින් ඈත් වෙලා පිට රටක හෝ නගරබදව තනියම ජීවත් වෙනවා. සමහරු උයා පිහාත් ගන්නව. එහෙම ස්වාධීන අයටද මේ දේවල් වැදගත් වේවි.
තමන්ගෙම ගෙදරක් උනත් කුලියට ඉන්න පුංචි ඇනෙක්ස් එකක් උනත් ඒ තමන් ජීවත් වෙන තැන කියන එක මුලින්ම හිතේ තියාගන්න ඕන. ඉතින් තමන් ජීවත් වෙන තැන ලස්සනට පිරිසිදුව තියාගන්න එකෙන් වැඩක් වෙන්නෙ තමන්ටමයි. බලන්න මේ පුංචි ටිප්ස් වලින් ඔයාලට ඉගෙන ගන්න දෙයක් තියෙනවද කියලා.
 1. අත්‍යාවශ්‍යම දේ පමණක් ගැනීම

විවාහයෙන් පස්සෙ වෙනම ගෙදරකට යනවනම් මුල ඉඳන් හැම දෙයක්ම ගන්න ඕන. ඒ වගේමයි තනියම පොඩි ඇනෙක්ස් එකක් හරි කාමරයක් හරි අරන් ගියත්. එහෙමයි කියල දකින දකින හැම දේම ඕන වෙයි කියල හිතල ගන්න යන්න එපා. මුලින්ම තමන්ට අත්‍යාවශ්‍යම දේවල් වල ලිස්ට් එකක් හදාගෙන ඒ දේවල් විතරක් ගන්න. අනිත් දේවල් ඒ දේවල් වල අවශ්‍යතාවයක් මතු උන වෙලාවක විතරක් අරගන්න.
අත්‍යාවශ්‍ය දේ විතරක් ගැනීම මුල සිටම පුරුද්දක් කරගන්න. තනියම නිවසක අය වැය පාලනය කරද්දි සමහර වියදම් එන්නෙ අපි නොසිතන විදියට. හදිසි අසනීපයක්,ඔබ බලාපොරොත්තු නොවුන වෙඩින් එකක් වගේ හිටි ගමන් එන වියදමක් පියවගන්න එක්කෝ ඔබ තැන්පත් කල මුදලක් ගන්නට හෝ වෙන කෙනෙකුට ණය වෙන්න වේවි. අත්‍යාවශ්‍ය දේට විතරක් වියදම් කලොත් ඔබට හදිසි අවස්ථාවක ගන්න යම් මුදලක් ඉතිරි කරගන්න හැකිවේවි.
විශේෂයෙන් ගෑණු ළමයි පොඩි පොඩි සුකුරුත්තම් බඩු වලට ආසයි. ඒත් මුලදිම ඒ දේවල් ගන්න එපා. ගෙදර බඩු වැඩි වෙන්න වැඩි වෙන්න ඔයාට වැඩ වැඩියි. ඒක තේරෙන්නෙ ගෙදර අස් පස් කරන්න ගියාම. පොඩි පොඩි ඕනමන්ට්ස් වල දූවිලි පිහිදන්න වෙනම දවසක් දාගන්න වෙනවා.
 2. එදිනෙදා බඩු ගැනීම

ගෙදරදි අම්ම එක්ක ගෙදරට බඩු ගන්න නිකමටවත් කඩේකට ගිහින් නැත්නම් මේ වැඩේ ටිකක් අමාරුයි. තමන්ට මාසෙකට කොච්චර හාල්, පොල්, පිටි, සීනි ප්‍රමාණයක් ඕන වෙනවද කියන එක හරියටම පිළිවෙලක් කරගන්න මාස දෙකක්වත් බඩු ගන්න වෙනවා. සාමාන්‍යයෙන් හාල් කිලෝ එකකින් 6 දෙනෙක්ට බත් උයන්න පුළුවන්. මුල්ම වතාවේ බඩු ගනිද්දි ඒ ගන්න ප්‍රමාණයන් පොතක ලියල තියාගන්න. ඒ දේවල් කී වතාවක් පාවිච්චි කලාද කොච්චර දවසක් පාවිච්චි කලාද කී දෙනෙක් කෑවද කියල පොඩි නෝට් එකක් ගහගන්න. ආයේ බඩු ගන්න කොට මේ පුංචි නෝට් එක ගොඩක් වැදගත්.
 3. එදිනෙදා වැඩ එදිනෙදාම ඉවර කිරීම

විශේෂයෙන් රෙදි සේදීම. වොශින් මැශින් එකක් තියෙනවා නම් මේක ඒ හැටි ප්‍රශ්ණයක් නෙවෙයි. ඒත් තනියෙන් ඉන්න තරුණයෙක්ට නම් මේක වැදගත්. එදිනෙදා අඳින ඇඳුම් එදා රෑට වොශ් එකක් දාන කොටම සෝදල දාන්න. රෙදි එකතු වෙන එක තමයි ජීවිතේ තියෙන ලොකුම කරදරය. නිවාඩු දවසට ඔක්කොම සෝදන්න තියාගත්තොත් පාඩුවෙ ෆිල්ම් එකක් බලන්නවත් වෙලාවක් නැති වෙනවා. ඒ වගේමයි එදිනෙදා උයන පිහින වළං පිඟන් එදිනෙදාම සෝදල දාන්න. ඒකෙ ලේසිය දැනෙන්නේ පහුවදාටයි.

4. කුස්සියේ පිළිවෙල

ගෙදරක කුස්සියෙන් තමයි ඒ ගෙදර පිරිසිදුකම මැනගන්න පුළුවන්. ඒ නිසාම එතන පිරිසිදුව තියාගන්න එක ගොඩක් වැදගත්. අනවශ්‍ය බඩු ගොඩ ගහගන්න එපා. ඉඩ ඇහිරෙන තරමට එතන පිරිසිදුකම රඳවගන්න අමාරුයි. හැමදාම රෑට සින්ක් එක සේදුවොත්, කුණු බක්කිය වහල දැම්මොත්, කැරපොත්තො මීයො වගෙ සත්තු බෝ වෙන්නෙ නෑ. සීනි බෝතල් පිටි බෝතල් හොඳින් කට වහල තියන්න. උවමනාවක් නැතිකොටම භාගෙට වැහුවම කූඹි බෝ වෙනවා. උයල ඉවර වුනාම පැන්ට්‍රිය උඩ හෝ මේසය උඩ පිහිදල එවෙලේම අතුගාල දාන්න. මේ පොඩි පොඩි දේවල් වල පහසුව ඔයාලටමයි.

5. Refill කිරීම


පහේ බෝතල් වල පහේ ඉවර වේගෙන එද්දි ඒකට පරණ පහේ උඩින් අළුත් ඒවා දාන්න එපා. ඉවර වෙනකම් ඉඳල බෝතලේ සෝදල වේලගන්න. අළුත් පහේ ටික ඊට පස්සෙ දාන්න. ඔයාල දැකල ඇති සමහර ගෙවල් වල පහේ බෝතල් වල තියෙන්නෙ මොනවද කියල පේන්නෙ නැති තරමට කුණු බැඳිලා. ඒ ඔහේ පුරව පුරව සෝදන්නෙ නැතුව තියාගැනීමේ ප්‍රථිපල. බෝතල් ලේබල් කරන්න. ඒක ඔයාට වගේම හදිසියකට කුස්සියේ වැඩක් කරන්න එන පිට කෙනෙක්ටත් පහසුවක්.
 6. අපි විතරනෙ ඉන්නෙ / මං විතරනෙ ඉන්නෙ සිතුවිල්ල
මෙන්න මේක හරි භයානකයි. පිරිසිදු කරන වැඩ මඟ ඇරෙන්න පළවෙනිම හේතුව මේ සිතුවිල්ල. එදිනෙදා අතුපතු ගෑම් අස් පස් කිරිලි සේරම ඇණ හිටිනවා මේ සිතුවිල්ල ඇති උනොත්. අප්පා ගෙයි හැටි කියල හිතෙන්න ගන්නෙ කවුරු හරි එන වෙලාවක විතරයි. එහෙම නැතුව හැම දවසකම අමුත්තෙක් බලාපොරොත්තුවෙන් වගේ ගේ දොර අතුපතු ගාල අස් කරල තියාගන්න එක පුරුද්දක් කරගන්න. නොදැනුවත්වම ඔයාලට ඒක නොකර බැරි වෙනවා. ඉතින් හදිසියේ කෙනෙක් ආවත් අමුතුවෙන් කරන්න දෙයක් නෑ.
7. උයන පිහිනකොට වරදිනවා

ළුතෙන්ම කුස්සියට හුරු වෙද්දි වැරදීම් වෙනවා. ගණන් ගන්න එපා. උත්සහය අත හරින්නත් එපා. හොද්දක් බතක් උයාගන්න පුරුදු වෙන එක ගෑණු ළමයින්ට වගේම පිරිමි ළමයින්ටත් වටිනවා. නැත්නම් කන්න වෙන්නෙ කඩවල් වල අපිරිසිදු කෑම. උයන්න ඉගෙන ගන්න එක දැන් කාලෙ නම් අමාරු නෑ. Facebook එකේ ඕන තරම් උයන්න ඉගෙන ගන්න ගෲප් තියෙනව. Internet එකේ ඕනම දේක recipe තියෙනවා. එකක් දෙකක් බලාගත්තම සැරයක් දෙසැරයක් වැරදුනත් තමන්ට ඕන දේ හදාගන්න බැරි නෑ. ජීවත් වීම කලාවක් කරගන්න. පිරිසිදුකම, පිළිවෙල Passion එකක් කරගන්න.

Source: Internet




No comments

Powered by Blogger.